රට මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය අභියෝගයන්ගෙන් මුදවා ගැනීම සඳහා විශේෂයෙන්ම ස්ථාපිත කරන ලද “Rebuilding Sri Lanka” (ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ) අරමුදලට මෙරට සහ විදේශීය පරිශ්‍රමයන්ගෙන් ලැබුණු කිසිදු මුදලක් මේ වනතෙක් කිසිදු ප්‍රාග්ධන හෝ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා උපයෝගී කරගෙන නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) නිල වශයෙන් අනාවරණය වී තිබේ. ජාතික විගණන කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ඊ. එම්. එස්. ඒකනායක මහතා විසින් සිදුකළ මෙම ප්‍රකාශය, රටේ මූල්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ පවතින දැඩි මන්දගාමීත්වය මනාව පිළිඹිබු කරන්නකි. අර්බුදකාරී අවස්ථාවක රටේ උන්නතිය උදෙසා වෙන් කෙරෙන මහජන සහ ආධාර මුදල් මෙලෙස නිෂ්ක්‍රීයව පැවතීම, ජාතික මට්ටමේ සැලසුම්කරණයේ පවතින බරපතළ රක්තහීනතාවය මතුකර පෙන්වන්නකි.
මෙම තීරණාත්මක කරුණ කරළියට පැමිණියේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අදාළ විගණන නිලධාරීන්ගෙන් සිදුකළ සෘජු ප්‍රශ්න කිරීමකදී වන අතර, එහිදී හෙළිවූ කරුණු මඟින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ බරපතළ වගවීමක් සමාජය හමුවේ තබා ඇත. රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා විනිවිදභාවයකින් යුතුව කඩිනමින් ක්‍රියාත්මක විය යුතු මෙවැනි විශේෂිත අරමුදල්, නිලධාරිවාදී රතු පටි හෝ නිසි උපායමාර්ගික සැලසුම් නොමැතිකම හේතුවෙන් මෙලෙස ගොඩගැසී තිබීම ජාතික අපරාධයක් බඳුය. ආයෝජන සහ ප්‍රතිසංස්කරණ සඳහා මුදල් නොමැති බව පවසන වටපිටාවක, පවතින ප්‍රතිපාදන පවා නිසි පරිදි පරිහරණය කිරීමට අපොහොසත් වීම රටේ ඉදිරි සංවර්ධන ඉලක්ක කෙරෙහි සෘණාත්මක බලපෑම් එල්ල කරයි.
මෙම අනාවරණයත් සමඟ “Rebuilding Sri Lanka” අරමුදලේ ඉදිරි පියවර සහ එහි නීත්‍යානුකූල භාරකාරිත්වය සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් සහ පසු විපරමක් සිදු කිරීමට මුදල් කාරක සභාව තීරණය කර ඇති අතර, මෙලෙස මුදල් රඳවා තබා ගැනීමට හේතු වූ කරුණු පිළිබඳව වගකිවයුතු ආයතනවලින් කඩිනම් වාර්තා කැඳවීමට නියමිතය. මෙම අරමුදල් සක්‍රීය ව්‍යාපෘති සඳහා දායක කර නොගැනීම, රට කෙරෙහි ජාත්‍යන්තර ආධාරකරුවන් තබා ඇති විශ්වාසය බිඳවැටීමට ද හේතු විය හැකි බැවින්, රජය වහාම මැදිහත් වී මෙම මුදල් ජාතික ආර්ථික ප්‍රවාහයට මුදාහැරීමට කටයුතු කළ යුතුව තිබේ. එමඟින් පමනක්ම මූල්‍ය විනය සහ මහජන අභිලාෂයන් සුරක්ෂිත වන බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි.
















