රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ එපිටවල ගොවිජන සේවා මධ්‍යස්ථානය ආසන්න ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අද (03) බරපතළ රථවාහන අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ටිපර් රථය තුළ රියදුරු සහ සහායකයා පමණක් ගමන් කර ඇති අතර, වාහනය පෙරළී යාමත් සමඟ ඔවුන් දෙදෙනා එහි සිරවී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියහ.
අනතුර දුටු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ එම මාර්ගයේ ගමන් ගත් අනෙකුත් රියදුරන් එක්ව දැඩි වෙහෙසක් දරා ටිපර් රථයේ ඉදිරිපස කොටස කඩා එහි සිරවී සිටි පුද්ගලයන් දෙදෙනාව මුදාගැනීමට කටයුතු කළහ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ රියදුරු සහ සහායකයා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා අසල පිහිටි රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අනතුර හේතුවෙන් රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද යම් බාධාකාරී තත්ත්වයක් මතු වූ අතර, පොලීසිය මැදිහත් වී වාහන තදබදය පාලනය කිරීමට පියවර ගත්තේය. ටිපර් රථයේ අධික වේගය හෝ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවන්නට ඇති බවට සැක කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ රථවාහන අංශය මඟින් පුළුල් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර තිබේ.
















