ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇත්තේ බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. බාල ගල්අඟුරු භාවිතය නිසා විදුලිය උත්පාදනය සඳහා දිනකට ලීටර් ලක්ෂ හතක් අටක් වැනි විශාල ඩීසල් ප්‍රමාණයක් දහනය කිරීමට සිදුව ඇති බවත්, එහි බර ජනතාව මත පැටවීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.
නුගේගොඩදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, බලයට පත්වීමට පෙර මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රශ්න කළද, අද වන විට සිය නොහැකියාවන්, වංචා සහ දූෂණවල පාඩුව ජනතාව මත පටවා ඇති බවයි. ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනයක් එල්ල කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන තෙක් තමන් දැඩි විපක්ෂයක් ලෙස ක්‍රියා කරන බව අවධාරණය කළේය.
පළාත් සභා බලතල සහ මුදල් පරිපාලනය ජනතා නියෝජිතයන්ට ලබා නොදී ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයන් නව දෙනෙකුට පැවරීම ද ඔහු දැඩි ලෙස විවේචනය කළේය. මීට අමතරව ආනයනය කරන ලද නවතම ගල්අඟුරු නෞකාවද ප්‍රමිතියෙන් තොර වීම නිසා ප්‍රතික්ෂේප වී ඇති බවත්, ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රට බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඔහු චෝදනා කරයි.
මැතිවරණයක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළ නාමල් රාජපක්ෂ මහතා, ජනතාවට තම ප්‍රාදේශීය නායකයන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, ආණ්ඩුව මේ ආකාරයෙන් අසාර්ථක වුවහොත් වගකිවයුතු පාර්ශ්වයන් නොමැතිව රට අරාජික වීමේ අවදානමක් ඇති බවත් වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
















