වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ජූනි 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම සංචාරය සිදුවන්නේ ඉන්දියාව විසින් වෙනිසියුලාවෙන් සිදුකරන බොර තෙල් ආනයනය විශාල ලෙස ඉහළ නංවා ඇති වටපිටාවකය. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉන්දියාව පසුගිය මැයි මාසයේදී ලොව දෙවැනි විශාලතම වෙනිසියුලානු බොර තෙල් ගැනුම්කරු බවට පත්වූ අතර, එහිදී ඉන්දියාව දිනකට බොර තෙල් බැරල් 427,000ක් මිලදී ගෙන ඇත. විශේෂයෙන්ම ‘රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්’ සමාගම මෑත මාසවලදී වෙනිසියුලානු බොර තෙල් මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් තිදෙනාගෙන් අයෙකු ලෙස ස්ථාපිත වී සිටී.
සංචාරය අතරතුර රොඩ්රිගස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් සඳහන් කළේ, මෙම සාකච්ඡා මගින් බලශක්ති, වෙළඳ, ආයෝජන, ඖෂධ නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන සහ පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව පුළුල් කරගත හැකි මාර්ග පිළිබඳව අවධානය යොමු කරන බවයි. මීට අමතරව, ඇය ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි හිදී එරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් හමුවීමට ද නියමිතය.
















