ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් ප්‍රහාරයක් හේතුවෙන් වෙනත් පාර්ශ්වයක් වෙත ලැබීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කළ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාරදී තිබේ.
කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, අද (ජූනි 04) කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම වාර්තාව සියලු සාමාජිකයින් වෙත ලබාදීමට කටයුතු කළ බවයි. එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ලබන සතියේදී මුදල් ලේකම්වරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මීට පෙර මහා භාණ්ඩාගාරය විසින් මෙම වාර්තාව සභාපතිවරයාගේ පෞද්ගලික නිවස වෙත යවා තිබුණද, එම වාර්තාව තමාගේ නිවසට නොව පාර්ලිමේන්තුවටම භාරදිය යුතු බව පවසමින් හර්ෂ ද සිල්වා මහතා එය නැවත හරවා යැවීමට ඉකුත් ජුනි 03 වැනිදා කටයුතු කළ බව වාර්තා වේ.
















