ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 13.5ක මුදලක් 2026 වසර සඳහා වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මෙය මෙවැනි කටයුත්තක් සඳහා ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල් ප්‍රතිපාදනය බව ද ඇය සඳහන් කළාය. මීට අමතරව, පාසල් අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් තවත් රුපියල් බිලියන 5ක මුදලක් වෙන් කර ඇත.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී බස්නාහිර පළාතේ ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ සහ ධාරිතා සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය. දරුවන්ට ආදරය, රැකවරණය සහ සුරක්ෂිතතාව ලැබෙන ස්ථානයක් ලෙස පාසල පත්කිරීමේ වගකීම රජය විසින් ඉහළ විශ්වාසයකින් යුතුව භාරගන්නා බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මෙම වැඩසටහනේදී අමාත්‍යාංශ චක්‍රලේඛ අනුව පාසල් පවත්වාගෙන යෑම, මූල්‍ය විනිවිදභාවය සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් පරිසරය සකස් කිරීම පිළිබඳව විදුහල්පතිවරුන්ට දැනුවත් කිරීම් සිදු කෙරිණි. පාසල් පද්ධතියේ පවතින ගැටලු අවබෝධ කරගනිමින්, සැමට සමාන වරප්‍රසාද හිමිවන පරිවර්තනීය අධ්‍යාපන මාවතකට රට යොමු කිරීමට රජයට තිරසාර සැලසුමක් පවතින බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















