ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන ඇති ආර්ථික සාධනීය තත්ත්වයන් හේතුවෙන් දෙස් විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව රට සතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රාජ්‍ය ණය කළමනාකරණය නිසි ලෙස සිදු කිරීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පැවති 105%ක ණය බර 95% දක්වා අඩු වී ඇති බව ඒ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති විස්තීර්ණ ණය පහසුකම ලබන වසරේදී අවසන් වීමට නියමිතය. කෙසේ වෙතත්, නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකමක් ලබා ගැනීමට රජය කටයුතු කරන්නේද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට තවමත් කල් වැඩිය බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවට විදේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව පවතින බවත්, රටේ ණය තිරසරභාවය පිළිබඳව ජාත්‍යන්තරය තුළ සැලකිය යුතු විශ්වාසයක් ගොඩනැඟී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
ණය ලබා නොගැනීමට වඩා ණය ලබාගෙන රටේ වත්කම් ගොඩනඟා ගැනීම ඵලදායී වන බව පෙන්වා දෙන නන්දලාල් වීරසිංහ මහතා, දූෂණය, නාස්තිය සහ අධික පොලී ගෙවීම් වළක්වා ගනිමින් රටේ යටිතල පහසුකම් දියුණු කිරීමට ලබාගන්නා ණය උපරිමයෙන් යොදා ගැනීම බලධාරීන්ගේ වගකීමක් බව ද අවධාරණය කරයි.
















