ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන්ගේ රුව භාවිත කරමින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඔස්සේ සකස් කළ ව්‍යාජ වීඩියෝ මගින් මුදල් වංචා කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Sri Lanka CERT) ලැබී ඇත.
Deep fake තාක්ෂණය යොදා ගනිමින් සකස් කර ඇති මෙම වීඩියෝවලදී, අදාළ ප්‍රසිද්ධ පුද්ගලයන් මුදල් ආයෝජනය කර ප්රතිලාභ ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ආකාරය නිරූපණය කෙරේ. විවිධ ආයෝජන අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද මෙම ව්‍යාජ නිර්මාණ සිදු කර ඇත. අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරෙන මෙම වීඩියෝවල ඇති සබැඳි (link) වෙත පිවිසීමෙන් ව්‍යාජ වෙබ් අඩවිවලට යොමුවන පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු සහ මුදල් සොරාගැනීමේ අවදානමක් පවතින බව CERT ආයතනය පෙන්වා දෙයි.
එබැවින් අන්තර්ජාලයේ පවතින මෙවැනි සැකකටයුතු ව්‍යාජ වීඩියෝ සහ සබැඳි පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී. තමන්ගේ වටිනා දත්ත වංචනිකයන් අතට පත් නොවන ලෙසත්, මෙවැනි අසත්‍ය පුවත් සහ වංචාවන්ට ගොදුරු නොවන ලෙසත් එම ආයතනය වැඩිදුරටත් දැනුම් දෙයි.
















