ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සුහද පාර්ලිමේන්තු සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ලබාදුන් සහයෝගය සහ මඟපෙන්වීම වෙනුවෙන් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යංජල් පාණ්ඩේ මහතා කථානායකවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය. සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන වෛද්‍ය පාණ්ඩේ මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූ අවස්ථාවේදී මෙම කෘතවේදීත්වය පිරිනැමීය.
වෛද්‍ය පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සේවය ඇගයීමට ලක් කළ කථානායකවරයා, අසීරු අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට සහ ජනතාවට ස්තුතිය පුද කළේය. විශේෂයෙන් මෑතකදී බලපෑ සුළි කුණාටුවෙන් පසු ඉන්දියාව ලබාදුන් සහය මෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුද හමුවේ ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද කථානායකවරයාගේ ඇගයීමට ලක්විය. මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රගතිය උදෙසා ඉන්දියාව ලබාදෙන පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.
එසේම, නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය පාණ්ඩේ මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ද හමු වූ අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඒ මහතා ලබාදුන් දායකත්වය නියෝජ්‍ය කථානායකවරයා විසින් ඇගයීමට ලක් කෙරිණි. සුහද සාකච්ඡාවලින් අනතුරුව කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා වෛද්‍ය පාණ්ඩේ මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක වීමට සුබපැතුම් එක් කළ අතර, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියට සහ කාර්ය මණ්ඩලයට ද ඒ මහතා සිය ස්තුතිය පළ කළේය.
















