තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ඓතිහාසික වොට් ෆෝ (Wat Pho) විහාරස්ථානයේදී 2026 වසරේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් ලෙස පවත්වා තිබේ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නේපාල තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා මහා සංඝරත්නය, විදේශීය තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා, නේපාල හා තායිලන්ත වැසියන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
වොට් ෆෝ විහාරයේ විහාරාධිපති සොම්ඩෙට් ප්‍රා මහා තිරචන් නායක හිමි එහිදී අනුශාසනාවක් පවත්වමින් අවධාරණය කළේ, වර්තමාන ලෝකයේ සාමය සහ සදාචාරය ප්‍රවර්ධනය සඳහා බුදු දහම අත්‍යවශ්‍ය වන බවත්, බෞද්ධයන් අතර එකමුතුකම ඉතා වැදගත් බවත්ය. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය උත්සවයේදී සඳහන් කළේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ලෝක සාමය සහ සහජීවනය සඳහා අතිශයින් වැදගත් වන බවයි. එසේම ථෙරවාදී බුදු දහම හරහා ශ්‍රී ලංකාව, නේපාලය සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ආගමික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ද ඇය ප්‍රකාශ කළාය.
මෙම උත්සවයේ වැඩසටහන් මාලාවට ආගමික වැඩසටහන්, ධර්ම දේශනා, භාවනා සහ සංස්කෘතික අංග ඇතුළත්ව තිබිණි. මහාචූලාලංකෝර්න් රාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේ පහළවෙල ධම්මකිත්ති හිමියන් බුද්ධ වන්දනාව සහ බුද්ධ පූජාව මෙහෙයවූ අතර, වොට් බොවොරනිවෙස් විහාරයේ සහකාර විහාරාධිපති ප්‍රා අනිල් සාක්‍ය හිමියන් සාමය සහ සදාචාරාත්මක ජීවන රටාව පිළිබඳ ධර්ම දේශනාවක් පැවැත්වූහ. භාවනා වැඩසටහනක් සහ ‘සුවපත් කරන සංගීත’ වැඩසටහනක් ද පැවැති අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් කළ භක්ති ගීත ගායනා විශේෂ අවධානයක් දිනා ගත්තේය. උත්සවය අවසානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිර්මාණය කළ වෙසක් කූඩු සහ සැරසිලි ප්‍රදර්ශනය කෙරුණු අතර, පැමිණ සිටි පිරිස සඳහා සාම්ප්‍රදායික දන්සලක ආකෘතියෙන් සංග්‍රහ පිරිනැමීම ද සිදු විය.
















