ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර ගණනාවක් තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සිවිල් සේවකයන් 826 දෙනකු ස්ථිර සේවයට අනුයුක්ත කිරීමේ උත්සවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි 01 දින කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්විණි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාව පිළිගැනීමෙන් අනතුරුව මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
උත්සවය අමතමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2026 අය-වැය යෝජනාවලට සහ රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව මෙම සේවකයන් දිගුකාලීනව මුහුණ දුන් රැකියා අනාරක්‍ෂිතභාවයට විසඳුම් ලබාදීමට පියවර ගත් බවයි. මෙම පත්වීම් ලබා දීම සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රැකියා සුරක්‍ෂිතතාව සහ ස්ථාවරත්වය ළඟා කර දෙමින් සමාජ හා ආර්ථික සාධාරණත්වය ඉටු කිරීමට තැබූ වැදගත් පියවරක් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
යුද සහ පශ්චාත් යුද සමයේදී මවුබිම ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී සිවිල් කාර්ය මණ්ඩලය ලබා දුන් අමිල දායකත්වය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය. යුද්ධ හමුදා සංවිධානයේම අනිවාර්ය කොටසක් වන සිවිල් සේවකයන් වෘත්තීය මට්ටමෙන් සහ අවංකභාවයෙන් යුතුව සිය සේවාව අඛණ්ඩව ඉටු කරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා, ඔවුන්ගේ සුභසාධනය ඉහළ නැංවීමට රජය බැඳී සිටින බව සහතික කළේය. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් සහ සිවිල් පරිපාලන නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















