ඌව වෙල්ලස්ස ජනතාවට උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ නව පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. 2019 වසරේ අගෝස්තු මාසයේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම ගොඩනැගිල්ල රුපියල් මිලියන 793කින් අවසන් කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘතියක් වුවද, අතරමඟ නවතා දමා තිබූ එහි ඉදිකිරීම් යළි ඇරඹීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2961ක් දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට මෙම වාට්ටු සංකීර්ණය සඳහා රුපියල් මිලියන 857කට අධික මුදලක් වැය කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2900කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිතය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙවැනි අතරමඟ නතර වූ ව්‍යාපෘති 69ක් හඳුනාගෙන ඇති බවත්, එම ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී ආරම්භක අවස්ථාවට වඩා තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්ය. නිසි පරිදි මුදල් වෙන් නොකිරීම හේතුවෙන් නියමිත කාලයේදී රුපියල් බිලියන 28කින් අවසන් කළ හැකිව තිබූ ව්‍යාපෘති 59ක් සඳහා මේ වන විට රුපියල් බිලියන 45ක් වැය කිරීමට සිදුව තිබීම කනගාටුදායක තත්ත්වයක් බවද ඔහු අවධාරණය කළේය.
නව වාට්ටු සංකීර්ණයේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු සඳහාත්, දෙවන සහ තෙවන මහල් කාන්තා ශල්‍ය වාට්ටු සඳහාත් වෙන් කර ඇති අතර, සිව්වන මහලේ නවීන ශල්‍යාගාර හතරක් ස්ථාපිත කිරීමට නියමිතය. අම්පාර, බදුල්ල සහ මොණරාගල යන රෝහල් එකම පද්ධතියක් යටතේ සංවර්ධනය කිරීමටත්, ලබන වසරේදී මොණරාගල රෝහලට නවීන සිටි (CT) ස්කෑන් යන්ත්‍රයක් සහ රුපියල් මිලියන 317ක සංවර්ධන ව්‍යාපෘති ලබා දීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් එක්ව සිටියහ.
















