දිවයින පුරා පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ වැඩිහිටියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් නව නීතිමය රාමුවක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන කිසිදු ආයතනයකට ඉදිරියේදී කටයුතු කිරීමට ඉඩ නොදෙන බවයි.
මෙම නව රෙගුලාසි සකස් කිරීම මේ වන විට අවසන් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව ඇත. අදාළ රෙගුලාසි පළාත් සභා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගැසට් කිරීමට නියමිතය. දැනට ලියාපදිංචි වී ඇති වැඩිහිටි නිවාස 455ක් සහ රජය සතු මධ්‍යස්ථාන 3ක් දිවයින පුරා ක්‍රියාත්මක වන අතර, මින් ඉදිරියට සියලුම මධ්‍යස්ථාන අනිවාර්යයෙන්ම නව රෙගුලාසිවලට අනුකූල විය යුතුය. මූලික පහසුකම්, ආරක්ෂාව සහ සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලය නොමැති ස්ථානවල වැඩිහිටියන් රඳවා තැබීමෙන් වළකින ලෙස අමාත්‍යවරයා භාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි. නීති උල්ලංඝනය කරන ආයතනවලට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
















