මැලේසියාවේ පැවති කාන්තා ප්‍රිමියර් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී භූතානයට එරෙහිව පැවති තරගයකදී නේපාල ක්‍රිකට් කණ්ඩායම විසින් සිදු කළ ‘ටයිම්ඩ් අවුට්’ (Timed-out) ඉල්ලීම සහ එම තීරණය ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්වීමත් සමඟ නේපාල ක්‍රිකට් සංගමය (CAN) ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් සමාව අයැද තිබේ.
තරගයේදී නේපාලය විසින් ලබා දුන් ලකුණු 113ක ඉලක්කය හඹා ගිය භූතාන කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේදීම බිඳ වැටුණි. අනතුරුව පිටියට පිවිසි නවක පිතිකාරිනී රිත්ෂි චෝඩන් තම ආරක්ෂිත හිස්වැස්ම අතැතිව ඉක්මනින් පිටියට පැමිණියද, නියමිත කාල සීමාව තුළ පන්දුවට පහරදීම සඳහා සූදානම් වීමට ඇය අපොහොසත් විය. මේ අවස්ථාවේදී නේපාල ක්‍රීඩිකාවන් විසින් ක්‍රිකට් නීති ප්‍රකාරව ‘ටයිම්ඩ් අවුට්’ ඉල්ලීමක් සිදු කළ අතර, පිටියේ සිටි විනිසුරුවරුන් එම ඉල්ලීම පිළිගැනීමත් සමඟ භූතානයට එක් පන්දුවකින් කඩුලු දෙකක් අහිමි විය.
මෙම සිදුවීම ක්‍රිකට් නීතිවලට අනුකූල වුවද, ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින උත්තරීතර ආදර්ශයන්ට සහ ක්‍රීඩාශීලීත්වයට පටහැනි ක්‍රියාවක් බවට දැඩි විවේචන එල්ල විය. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් නේපාල ක්‍රිකට් සංගමය පවසන්නේ, නීතියට අනුකූලව එම තීරණය ගත්තද, ක්‍රීඩාවේ හරය වූ ක්‍රීඩාශීලීත්වය නීතිවලට වඩා වැදගත් බවයි.
නේපාල ක්‍රිකට් සංගමය සිය නිල නිවේදනය මගින් භූතාන ක්‍රිකට් ආයතනයෙන්, අදාළ ක්‍රීඩිකාවගෙන් සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාවගෙන් සමාව ඉල්ලා සිටින අතර, අනාගතයේදී අන්‍යෝන්‍ය ගෞරවය සහ සාධාරණ ක්‍රීඩාව වෙනුවෙන් කැපවී සිටින බව අවධාරණය කරයි. එම තරගය නේපාලය විසින් ජය ගත් අතර, භූතානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 62ක් පමණි.
















