දිවයින පුරා පිහිටි මූලික රෝහල්වල පවතින සියලුම අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කර මහජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් වසර හතරක විශේෂ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වැල්ලවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන තිස්එක්දහසක (රු. බිලියන 31) දැවැන්ත මුදලක් වෙන් කිරීමට රජය කටයුතු කරන බවයි. එහිදී රෝහලේ බාහිර රෝගී අංශය (OPD), වාට්ටු සංකීර්ණය, ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) සහ රුධිර කාන්දුකරණ ඒකකය ඇතුළු සෑම අංශයක්ම නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, රෝහල් පරිපාලනය සහ සේවක මණ්ඩලය මුහුණ දෙන ගැටලුවලට ඒ මොහොතේදීම විසඳුම් ලබාදීමට පියවර ගත්තේය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් කුමාර සහ චතුරි ගංගානි යන මහත්ම මහත්මීන් ද සහභාගී වී සිටියහ.
















