මෙරට ස්ථාපිත මූලික රෝහල්වල පවතින අඩුපාඩු සම්පූර්ණ කර රෝගී සත්කාරක සේවාවන් නැංවීම සඳහා ඉදිරි වසර හතර තුළ ක්‍රියාත්මක වන විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මේ සඳහා රුපියල් මිලියන 31,000ක (කෝටි 3,100ක) දැවැන්ත මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි වැල්ලවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි. එහිදී රෝහලේ බාහිර රෝගී අංශය, වාට්ටු, ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, රුධිර කාන්දුකරණ ඒකකය ඇතුළු සියලුම අංශ නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඔවුන් මුහුණ දෙන ගැටලුවලට එම අවස්ථාවේදීම කාලීන විසඳුම් ලබා දීමට පියවර ගත්තේය.
වැල්ලවාය රෝහල ‘B’ කාණ්ඩයේ මූලික රෝහලක් වුවද ඊට අදාළ මූලික පහසුකම් එහි නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම සිව් අවුරුදු ව්‍යාපෘතිය යටතේ පළමුවෙන්ම රෝහල් කාණ්ඩ අනුව තිබිය යුතු මූලික පහසුකම් ඇති කිරීමට පියවර ගන්නා බව කීවේය. එසේම, බෝ නොවන රෝග වැළැක්වීමේ කාර්ය සාධන බලකායේ වැඩකටයුතු මීට වඩා විධිමත් ලෙස ප්‍රතිසංවිධානය කරන බව ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව, මෙරට වකුගඩු ගල් සැත්කම් සඳහා පුද්ගලයන් 2,000ක පොරෝත්තු ලේඛනයක් (Waiting List) පවතින බව අනාවරණය වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා, මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්වේච්ඡා දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ මැදිහත්වීමෙන් මීරිගම මූලික රෝහලේදී මෙම මස 12 වැනිදා සිට එම සැත්කම් කඩිනමින් සිදුකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ද ප්‍රකාශ කළේය. ඉදිරියේදී මේ සඳහා වැල්ලවාය රෝහල ද භාවිතයට ගැනීමට ඇති හැකියාව සොයා බලන බව හෙතෙම කීය.
මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් කුමාර, චතුරි ගංගානි, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ වැල්ලවාය රෝහල් වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය මදාරා ගුණසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















