යුක්‍රේන – රුසියානු යුද්ධය අවසන් කිරීමේ කඩිනම් අරමුණින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සෘජු සාකච්ඡාවකට එක්වන්නැයි යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි විවෘත ලිපියක් මඟින් ඉල්ලා සිටින බව බීබීසී (BBC) පුවත් සේවය වාර්තා කරයි.
අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම් සහ අවධානය යොමුවන තෙක් බලා සිටීම නිෂ්ඵල ක්‍රියාවක් බව පවසන යුක්‍රේන ජනාධිපතිවරයා, දෙරට අතර සාමය උදාකර ගත හැක්කේ සෘජු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලින් පමණක් බව පෙන්වා දෙයි. මෙම සාකච්ඡා පවත්වන කාලසීමාව තුළ දෙපාර්ශවයම පූර්ණ සටන් විරාමයකට (Ceasefire) එළඹිය යුතු බව සෙලෙන්ස්කි යෝජනා කර ඇතත්, රුසියානු ජනාධිපතිවරයා මීට පෙර එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුණි.
කෙසේ වෙතත්, නායකයන් දෙපළ මෙලෙස සෘජුව හමුවී සාකච්ඡා කිරීම යුද්ධය නිමා කිරීම සඳහා තැබිය හැකි ඉතා වැදගත් පියවරක් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර තිබේ. මේ අතර, අදාළ ලිපිය තමන් වෙත ලැබී ඇති බවත්, ඒ පිළිබඳව ජනාධිපති පුටින් දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් රුසියානු ක්‍රෙම්ලීන (Kremlin) පාලනාධිකාරිය නිල වශයෙන් තහවුරු කර ඇත.
















