අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ‘සම්භාෂා’ ශාස්ත්‍රීය සංග්‍රහයේ 22 වැනි කලාපය අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කර තිබේ.
‘සම්භාෂා’ ශාස්ත්‍රීය සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය බලගොඩ අමරජෝති හිමි සහ අභිනව අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ශාස්ත්‍රීය සංග්‍රහය අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීම සිදු විය.
පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය පර්යේෂණ, සාහිත්‍යමය හා සමාජ විද්‍යාත්මක දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සඟරාව ප්‍රකාශයට පත් කෙරේ. මෙවර 22 වැනි කලාපය ද ආගමික, සාහිත්‍යමය හා ශාස්ත්‍රීය වශයෙන් පරිශීලකයන්ගේ ඥානය වර්ධනය කිරීමට දායක වන විද්වත් ලිපි රැසකින් සමන්විතව නිර්මාණය කර ඇත. මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් කේ. සී. නිරෝෂන් මහතා සහ අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කරුණාරත්න බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
















