ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ඉදිරි පළාත් සභා මැතිවරණ අපේක්ෂකයන් තේරීමේ ප්‍රධාන කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා (05) මේ බව තහවුරු කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු විධායක සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත. (මුල් පුවත් වාර්තාවේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය” ලෙස වැරදීමකින් සඳහන්ව තිබුණ ද, නෙළුම් මාවතේ පිහිටා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයයි).
විධායක සභා රැස්වීමේදී පක්ෂ අභ්‍යන්තර තීරණ රැසක් ගත් බව ප්‍රකාශ කළ මහ ලේකම්වරයා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම ප්‍රධාන කමිටුවට අමතරව ඉදිරියේදී පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් වෙනත් අනුකමිටු ද පත් කිරීමට නියමිත බව සඳහන් කළේය. පක්ෂය සහ බිම් මට්ටමේ දේශපාලනය පිළිබඳව මනා අවබෝධයක් ඇති හිටපු අමාත්‍යවරුන් රැසක් මෙම ප්‍රධාන කමිටුව නියෝජනය කරන බවත්, පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණ ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට සූදානම් බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















