ලෝක පාපන්දු සම්මේලනය (FIFA) සහ Netflix Games ආයතනය එක්ව “FIFA World Cup: Launch Edition” නමින් නවතම පාපන්දු වීඩියෝ ක්‍රීඩාවක් එළඹෙන ජූනි 11 වැනිදා නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂී නිකුත් කිරීම 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වන දිනයටම සමගාමීව සිදුවීම විශේෂත්වයකි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පවතින Netflix ග්‍රාහකයින් (Subscribers) සඳහා කිසිදු අතිරේක ගාස්තුවකින් හෝ වෙළඳ දැන්වීම්වලින් තොරව මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීමයි. EA Sports සමාගම සමඟ පැවැති දශක තුනක දීර්ඝකාලීන සබඳතාව බිඳවැටීමෙන් පසු, විවිධ නව ඩිජිටල් වේදිකා ඔස්සේ ප්‍රේක්ෂකයින් සහ ගේමර්ස්ලා අතරට යාමට FIFA ආයතනය ගෙන ඇති නව උපායමාර්ගික පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
Delphi Interactive සමාගම සමඟ එක්ව නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාව ඉතා සරලව හැසිරවිය හැකි (Casual Arcade Style) පරිදි සකස් කර තිබේ. මෙහිදී ක්‍රීඩකයින්ට තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය දුරස්ථ පාලකයක් (Controller) ලෙස භාවිත කරමින්, ස්මාර්ට් රූපවාහිනී තිරය හරහා පහසුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවේ. ඒ සඳහා කළ යුත්තේ රූපවාහිනී තිරයේ දිස්වන QR කේතයක් ජංගම දුරකථනයෙන් ස්කෑන් කිරීම පමණි.
මෙවර 2026 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති නිල කණ්ඩායම් 48ම, තරගාවලිය පැවැත්වෙන නිල ක්‍රීඩාංගණ 16ම සහ ලොව සුපිරි ක්‍රීඩකයින් 1,200කට අධික සංඛ්‍යාවක් මෙම වීඩියෝ ක්‍රීඩාවට ඇතුළත් කර තිබේ. එකවර ක්‍රීඩකයින් සිව්දෙනෙකුට (Local Multiplayer) දක්වා මෙයට සම්බන්ධ විය හැකි අතර, සැබෑ ලෝක කුසලාන තරගාවලියේ පිටිය තුළ සිදුවන සජීවී වෙනස්වීම් සහ දක්ෂතා සමඟ මෙම ක්‍රීඩාවේ අන්තර්ගතයන් ද දිනෙන් දින යාවත්කාලීන (Live Updates) වන බව FIFA ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
















