ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි දියුණුව වෙනුවෙන් පිරිමි කණ්ඩායමට හිමිවන මට්ටමේම අවධානයක්, අවස්ථා සහ සහයෝගයක් ලබාදීම සහතික කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව (Cricket Transformation Committee) පවසයි.
පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ‘ඒ’ කණ්ඩායම සහ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩිකාවන් සමඟ පැවති විශේෂ හමුවකදී මේ බව අවධාරණය කෙරිණි. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන ප්‍රකාශ් ෂාෆ්ටර්, සිදත් වෙත්තිමුණි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර ඇතුළු කමිටු සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ සභාපති එරාන් වික්‍රමරත්න මහතා, කාන්තා කණ්ඩායම ලබාගත් ආසියානු කුසලාන ජයග්‍රහණය “ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ඉතිහාසය නැවත ලිවීමක්” ලෙස අගය කළේය. එසේම, ක්‍රීඩිකාවන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට කමිටුව කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ක්‍රිකට් ප්‍රවීණයින් වන සිදත් වෙත්තිමුණි, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ක්‍රීඩිකාවන්ට සිය අත්දැකීම් ඇසුරින් වටිනා උපදෙස් ලබා දෙමින්, කණ්ඩායම් හැඟීම ඕනෑම ජයග්‍රහණයක පදනම බව පෙන්වා දුන්හ. එළඹෙන 2026 අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ජාතික කාන්තා කණ්ඩායම වෙත ද මෙහිදී කමිටුවේ උණුසුම් සුබපැතුම් පිරිනැමිණි.
















