මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේදී වීදි සුනඛයින්ට පොලු මුගුරු වලින් පහර දෙමින් සහ යතුරුපැදියකින් යට කිරීමට තැත් කරමින් සත්ව හිංසාව සිදු කිරීමේ චෝදනාව මත රජයේ බැංකුවක විධායක ශ්‍රේණියේ නිලධාරිනියක මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය ඉකුත් වෙසක් පොහොය දින රාත්‍රී සහ අලුයම් කාලයේදී අදාළ ප්‍රදේශයේ සිටි වීදි සුනඛයින්ට කෲර ලෙස පහර දෙන ආකාරය සහ යතුරුපැදියකින් ඔවුන් යට කිරීමට උත්සාහ කරන ආකාරය ආරක්ෂිත කැමරාවල (CCTV) සටහන්ව තිබුණි. මෙම දර්ශන පෙළ පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වීමත් සමඟ මහජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් පැමිණිලි මත සිදු කළ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය විශ්වවිද්‍යාල උපාධිධාරිනියකි. පොලිස් ඇප මත මුදාහැර ඇති ඇය ලබන ජූනි 10 වන දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සත්ව හිංසාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ප්‍රදේශවාසීන් සිය සතුට පළ කර ඇති අතර, මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටීම සමාජයේ සියලු දෙනාගේ වගකීමක් බව සිහිපත් කර දෙයි.
















