මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පසුගිය ජූනි මස 01 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව සිය රාජකාරි නිම කර ජුනි 04 වන දින දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙම නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යන අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කරන ලදී.
ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවේ අණදෙන නිලධාරීවරයා සහ බටහිර නාවික විධානයේ ආඥාපතිවරයා අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වුණි. දෙරටේ නාවික හමුදාවන් අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. එම අවස්ථාවේදී ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නව නියුමැටික් ෆෙන්ඩර් (Pneumatic Fenders) හතරක් අලුත්වැඩියා කට්ටල සමඟ පරිත්‍යාග වශයෙන් ප්‍රදානය කෙරිණි.
නෞකාව දිවයිනේ රැඳී සිටි කාලය තුළ නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ට නෞකාව නැරඹීමට අවස්ථාව හිමිවිය. තවද, නෞකාවේ කාර්ය මණ්ඩලය මෙරට ආකර්ෂණීය ස්ථාන කිහිපයක සංචාරයක ද නිරත වූ බව නාවික හමුදාව පවසයි.
















