වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසන රාජ්‍ය පද්ධතියේ ඇති ප්‍රධානම විශ්වවිද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලය බවත්, ඒ වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ පසුගිය (05) දින පැවති සාකච්ඡාවකදීය. කුරුණෑගල ශාඛාවේ පවතින ඉඩකඩ නොමැති වීමේ ගැටලුව, දේශන ශාලා පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ, ඉඩම ලබා ගැනීමේ ගැටලුව විසඳී ඇත්නම්, ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් කරගෙන කඩිනමින් ඉදිරි කටයුතු සැලසුම් කළ යුතු බවයි.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව ද කරුණු පැහැදිලි කළාය. අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙමින් පවතී. 2027 වසරේදී 6 වන ශ්‍රේණියට සහ 2 වන ශ්‍රේණියට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු කෙරේ. දැනට ක්‍රියාත්මක පළමු වසරේ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දෙවන සහ තෙවන වාර පොත් නිකුත් කර ඇති අතර, ලබන වසර සඳහා ගුරු පුහුණු වැඩසටහන් ද ආරම්භ කිරීමට නියමිතය.
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බැවින් මෙම වසර තුළ එය විසඳීමට සූදානම්ය. එසේම, විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, අදාළ අමාත්‍යාංශය ඒ අනුව කටයුතු කරමින් පවතී.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයින්, විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අනුෂ්ක බණ්ඩාර මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















