ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව ඒ සඳහා අවශ්‍ය අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඒ අනුව මෙම වසර තුළ එම ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිසේත්ම නතර වී නොමැති බවත්, 2027 වසරේදී 06 ශ්‍රේණියට සහ 02 ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගනිමින් පවතින බවත්ය.
එමෙන්ම, දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පතිවරුන් මුහුණ දී තිබූ වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව අදාළ අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ යටිතල පහසුකම් පිළිබඳ ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් වන බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. කුරුණෑගල ශාඛාව සඳහා ලැබී ඇති නව ඉඩම සම්බන්ධයෙන් ඉදිරි සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
















