මෙම වසරේ ජනවාරි 01 වැනි දින සිට ජුනි 05 වැනි දින දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 38,095ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙන්නේ පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඉදිරි දිනවලදී රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, පුත්තලම, කල්මුනේ සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක මේ වන විට අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත. මෙම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි ජුනි 08, 09 සහ 10 යන දිනවලදී විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වෙච්ඡා සංවිධානවල දායකත්වය හිමි වේ.
ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ පැහැදිලි ජලය එකතු වන ඕනෑම පරිසරයක බෝවිය හැකි බැවින්, අවම වශයෙන් සතියකට විනාඩි 30ක් සිය වටපිටාව පිරිසිදු කිරීමට කාලය වෙන් කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම උදේ සහ සවස් කාලයේදී මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීමට ශරීරය ආවරණය වන ඇඳුම් පැළඳුම් සහ අනුමත මදුරු විකර්ශක භාවිත කරන ලෙස ද දැනුම් දෙයි.
තද උණ, හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය, වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම හෝ රුධිර වහනය වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. උණ පාලනය සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිත කරන ලෙසත්, ඇස්ප්‍රීන්, ඉබියුප්‍රොෆන්, ඩයික්ලොෆෙනැක් වැනි NSAID කාණ්ඩයේ ඖෂධ සහ ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් දැඩි ලෙස වළකින ලෙසත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.
















