දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් යටතේ, පසුගිය ජූනි 05 වන දින පමණක් පුද්ගලයන් 28,147 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබේ. මෙම මෙහෙයුම්වලදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 589 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 22 දෙනෙකු, වරෙන්තුකරුවන් 255 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 149 දෙනෙකු ද වෙති. මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් පියවරවලදී බීමත් රියදුරන් 57 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 78 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4,289 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සිදුකළ වැටලීම් 856කදී සැකකරුවන් 853 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇත. පොලිසිය සඳහන් කරන පරිදි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
















