ශ්‍රී ලංකාව තුළ සිගරට් සඳහා පනවා ඇති බදු ප්‍රතිශතය 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළ සූක්ෂ්ම සහ රහසිගත ලෙස පහත දැමීම (Stealth Reduction) හේතුවෙන්, මෙරට වැඩිපුරම අලෙවි වන සිගරට් සන්නාමය (Most Sold Brand – MSB) මඟින් පමණක් 2024 වසරේදී රජයට ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි 940ක (රුපියල් බිලියන 9.4ක) දැවැන්ත බදු ආදායමක් අහිමි වී ඇති බව නවතම ආර්ථික පර්යේෂණ වාර්තා මඟින් හෙළිදරව් කර තිබේ. රජයට අහිමි වූ මෙම මහා පරිමාණ මුදල රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙනවා වෙනුවට, ලාභයක් ලෙස කෙළින්ම දුම්වැටි නිෂ්පාදක සමාගමේ සාක්කුවට බැර වී ඇති බව ද එම වාර්තාවල සඳහන් වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර නිර්දේශයන්ට අනුව රටක සිගරට් මිලෙන් අවම වශයෙන් 75%ක්ම බදු (Tax-in-price) වශයෙන් පැවතිය යුතු වුවද, ශ්‍රී ලංකාවේ වත්මන් බදු ප්‍රතිශතය එම අගයට වඩා බෙහෙවින් පහත වැටී ඇත. නවතම දත්ත පෙන්වා දෙන පරිදි මෙරට වැඩිපුරම අලෙවි වන සිගරට් සන්නාමයේ බදු ප්‍රතිශතය 68.8%ක් දක්වාත්, අඩුම මිලට ඇති සිගරට් සන්නාමයේ (Lowest Priced Brand – LPB) බදු ප්‍රතිශතය 69.9%ක් දක්වාත් බරපතල ලෙස පහත වැටී තිබේ. ආර්ථික අර්බුදය මධ්‍යයේ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) දෙගුණයකට වඩා වැඩි කරමින් මහජනතාව මත අධික බදු බරක් පටවද්දී, දුම්කොළ සමාගම්වලට වාසි වන අයුරින් සිගරට් බදු මෙලෙස සූක්ෂ්මව අඩු කිරීම බරපතල ගැටලුවක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
දුම්කොළ කර්මාන්ත මැදිහත්වීම් දර්ශකයට (TII) අනුව ද ලංකාව තුළ රාජ්‍ය ප්‍රතිපත්ති සහ බදු ව්‍යුහයන් තමන්ට හිතකර ලෙස වෙනස් කරගැනීමට දුම්කොළ සමාගම් නිරන්තරයෙන් බලපෑම් කරන බව තහවුරු වී ඇත. මෙම තත්ත්වය වහාම පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති පරිදි දැනට පවතින සංකීර්ණ බදු ක්‍රමය වෙනුවට උද්ධමනයට සාපේක්ෂව සරල හා සමාන බදු ක්‍රමවේදයක් (Single tier tax) ස්ථාපිත කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. එමෙන්ම, අන්තර්ජාලය සහ සිනමාව හරහා කෙරෙන සියලුම දුම්වැටි ප්‍රවර්ධන තහනම් කිරීමට NATA ආයතනය ඉදිරිපත් කර ඇති නව පනත් සංශෝධන කඩිනමින් බලාත්මක කිරීම තුළින් පමණක් දුම්කොළ සමාගම් මහජන සෞඛ්‍යය සහ ආර්ථිකය සූරාකෑම වැළැක්විය හැකි බව ද පෙන්වා දී තිබේ.
















