ව්‍යවසාය සංවර්ධනයට සෘජුවම සම්බන්ධ රාජ්‍ය අංශයේ සියලුම වැඩසටහන් “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ වැඩමුළුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පැවැත්විණි.
මෙම වැඩමුළුවේදී රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට අදාළ සංවර්ධන වැඩසටහන් හඳුනා ගැනීම සහ එම තොරතුරු එක් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එම වැඩසටහන් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේදී පැන නඟින බාධක මඟ හරවා ගැනීමටත්, ඒ ඒ අංශවල ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.
ව්‍යවසාය සංවර්ධනයට සෘජුවම අදාළ වන වැඩසටහන් සඳහා ප්‍රාදේශීය මට්ටමින් තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව වැඩමුළුවට එක්ව සිටි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරිණි. මීට අමතරව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අදාළ රාජ්‍ය අංශ සහ “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන අතර, වෙන වෙනම හෝ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් හඳුනා ගැනීමත්, එම වැඩසටහන් තොරතුරු ලබා ගැනීමේදී ද්විකරණය වීම වැළැක්වීම සම්බන්ධවත් අවධානය යොමු කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. කේ. පී. එස්. කාන්ත මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීම සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍යාංශයේ නියෝජිතයන් වන කැලුම් ජයවීර සහ මාධව මුතුකුඩආරච්චි යන මහත්වරුන් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීම සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ‘ප්‍රජාශක්ති’ ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















