ව්‍යවසාය සංවර්ධනය සඳහා සෘජුව දායකත්වය සපයන රාජ්‍ය ආයතනවල මේ වන විට ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් ”ප්‍රජාශක්ති” ජාතික ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව සොයා බැලීමේ විශේෂ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි.
මෙම වැඩමුළුවේදී රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට (MSMEs) අදාළ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම සහ එම තොරතුරු එක් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එසේම, එම වැඩසටහන් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමටත්, වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ද්විකරණයවීම (Duplication) වැළැක්වීම සම්බන්ධවත් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්නායක පිළිබඳවද මෙහිදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, සම්පත්දායකයන් වන කැලුම් ජයවීර, මාධව මුතුකුඩආරච්චි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ‘ප්‍රජාශක්ති’ ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















