පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශ ශ්‍රී ලංකා පොලිසිය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ගම්මන්පිල මහතා විසින් නිකුත් කරන ලද අදහස් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක මෙම කරුණු දක්වා ඇත.
සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා ගෙන සිටින්නේ ලබා දී ඇති රැඳවුම් නියෝග යටතේ බවත්, එම කාලය තුළ ඔහුට කිසිදු ආකාරයක ප්‍රහාරයක් හෝ අමානුෂික සැලකිල්ලක් සිදු කර නොමැති බවත් පොලිසිය අවධාරණය කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය සැකකරුවෙකුට අදාළ නීතිමය ක්‍රියාපටිපාටීන්ට අනුකූලව ඔහු සම්බන්ධයෙන් කටයුතු කරන බවත්, ඔහුට කිසිදු විශේෂ වරප්‍රසාදයක් හෝ වෙනස් කොට සැලකීමක් සිදු නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද, මෙම සිද්ධිය මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගවලට යටත්ව පවතින බැවින්, ක්‍රියාත්මක නඩු විභාගයක් සම්බන්ධයෙන් මෙවැනි සත්‍යාපනය නොකළ හෝ සන්සනීපජනක ප්‍රකාශ මාධ්‍ය වෙත මුදා හැරීම අතිශයින්ම නුසුදුසු බව පොලිසිය පෙන්වා දෙයි. අධිකරණ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බාහිර අදහස් දැක්වීම්වලින් වැළකී සිටින ලෙසද පොලිසිය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
















