දුම්වැටි (සිගරට්) සඳහා නිසි පරිදි බදු පැනවීමට රජය අපොහොසත් වීම නිසා වසරකට අහිමි වන රුපියල් කෝටි 1,730ක (LKR 17.3 Billion) අතිදැවැන්ත අතිරේක ආදායම, රටේ පවතින ප්‍රමුඛතම ජාතික අයවැය ප්‍රතිපාදන කිහිපයක් සමඟ සංසන්දනය කරමින් “වෙරිටේ රිසර්ච්” (Verité Research) ආයතනය සහ PublicFinance.lk වෙබ් අඩවිය විසින් නවතම තීරණාත්මක බාර් චාට් (Bar Chart) දත්ත විශ්ලේෂණයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙමගින් පෙන්වා දෙන්නේ රජය විසින් දුම්කොළ සමාගම්වලින් අයකර නොගෙන අතහැර දමා ඇති මෙම මුදල, රටේ මවුවරුන්, දරුවන් සහ ආපදාවට පත්වන ජනතාව වෙනුවෙන් වෙන්කරන සමස්ත අයවැයටත් වඩා බෙහෙවින් වැඩි අගයක් ගන්නා බවයි.
නිල දත්ත ප්‍රස්ථාරයට අනුව, දුම්වැටිවලින් අහිමි වන රුපියල් කෝටි 1,730ක අතිරේක ආදායම් මුදල රටේ වැදගත් සුභසාධන වියදම් සමඟ සැසඳීමේදී පෙනී යන්නේ:
– ආපදා කළමනාකරණ අයවැය (LKR 14.8 Bn):
හිමි වී ඇති බදු ආදායම රටේ සමස්ත ආපදා කළමනාකරණ අයවැය මෙන් 1.2 ගුණයකි.
– පෝෂණ අයවැය (LKR 12.9 Bn):
මන්දපෝෂණය පිටුදැකීම සඳහා වෙන්කරන සමස්ත ජාතික පෝෂණ අයවැය මෙන් 1.3 ගුණයක ධනස්කන්ධයක් දුම්වැටි බදු ලිහිල් කිරීම නිසා රටට අහිමි වී ඇත.
– ප්‍රසූත නිවාඩු ප්‍රතිලාභ පිරිවැය (LKR 7.2 Bn):
රටේ සේවය කරන මවුවරුන්ගේ ප්‍රසූත නිවාඩු ප්‍රතිලාභ (Maternity Leave Benefits) වෙනුවෙන් වැයවන සමස්ත පිරිවැය මෙන් 2.4 ගුණයක අතිවිශාල මුදලක් දුම්වැටි බදු නිසි ලෙස යාවත්කාලීන නොකිරීමෙන් පමණක් රටට අහිමි වී තිබේ.
PublicFinance.lk වෙබ් අඩවියේ Cigarettes Got a Tax Cut: All other taxes went up පර්යේෂණය සහ 2026 පුරවැසි අයවැය (Citizen Budget 2026) වාර්තා පදනම් කරගනිමින් මෙම දත්ත සකස් කර ඇත. පොදු මහජනතාව මත පනවන බදු බර දිනෙන් දින ඉහළ නංවන පසුබිමක, මෙවැනි ප්‍රසූත නිවාඩු ප්‍රතිලාභ මෙන් දෙගුණයකටත් වඩා වැඩි ජාතික ධනයක් දුම්කොළ සමාගම් සතු වීමට ඉඩහැරීම බරපතළ බදු අක්‍රමිකතාවයක් බව ආර්ථික විශේෂඥයෝ තරයේ කියා සිටිති.
















