ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට පටහැනිව, 2026 වසර තුළ දුම්වැටි මත පනවා තිබූ බදු ව්‍යුහය ලිහිල් කිරීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 17.3ක අතිවිශාල බදු ආදායමක් අහිමි වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය අනාවරණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ දුම්වැටියක සිල්ලර මිලෙන් 75%ක් බදු වශයෙන් අය කළ යුතු බව වුවද, 2018 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ එම අනුපාතය ක්‍රමයෙන් පහළ ගොස් මේ වන විට 66.8% දක්වා අඩුවීම තුළින් මෙරට බදු ප්‍රතිපත්තියේ පවතින බරපතළ විෂමතාවක් මතු වී තිබේ.
2021 වසරේ සිට මෙරට තුළ වැට් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද ඇතුළු සෘජු හා වක්‍ර බදු ගණනාවක් ඉහළ දැමීමට රජය පියවර ගත්තද, ඒ හා සමාන්තරව දුම්වැටි මත පනවන ලද බදු බර 7.6%කින් අඩු වීම ගැටලුකාරී බව ආයතනික දත්ත මගින් තවදුරටත් තහවුරු වේ. දේශීය ආර්ථිකය දැඩි අභියෝගයකට ලක්ව ඇති මෙවැනි සමයක, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වැය කළ හැකිව තිබූ බිලියන ගණනක අරමුදල් මෙලෙස බදු සහන මුවාවෙන් අහිමි කර ගැනීම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් නිර්මාණය කර ඇත.
මෙම අහිතකර බදු ප්‍රතිපත්තිය හේතුවෙන් රජයට සිදුවන ආදායම් අහිමිවීම ඉදිරියේදී රාජ්‍ය අයවැය පරතරය තවත් පුළුල් කිරීමට හේතු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දුම්වැටි නිෂ්පාදකයන්ට වාසිදායක වන පරිදි ක්‍රියාත්මක වන මෙම බදු සහන ක්‍රමවේදය කඩිනමින් සමාලෝචනය කර, විද්‍යාත්මක සහ සාධාරණ බදු සූත්‍රයක් කරා නොපැමිණියහොත් මහජන සෞඛ්‍ය මෙන්ම ජාතික ආර්ථිකය ද දිගුකාලීනව පීඩාවට පත්වනු නොඅනුමානය.
















