ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙරට රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලේම බදු ඉහළ නංවා ඇති පසුබිමක, දුම්වැටි (සිගරට්) සඳහා පමණක් හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මහා පරිමාණ බදු සහනයක් ලබාදී ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් කරුණු සහිතව හෙළිදරව් කර තිබේ. 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගල ආදායම් බදු, ආයතනික බදු මෙන්ම පිසින ගෑස් සිලින්ඩරයේ සිට දෛනිකව පරිභෝජනය කරන සබන් කැටය දක්වා සෑම භාණ්ඩයකම වැට් (VAT) බදු ප්‍රතිශතය සියයට 7.8කින් ඉහළ නංවා, ඊට උඩින් සියයට 2ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ද (SSCL) පනවා තිබියදී දුම්වැටි සඳහා මෙම විශේෂ සැලකිල්ල දක්වා ඇත.
නවතම දත්ත අනාවරණයන්ට අනුව, මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළදී අනෙකුත් සියලුම ක්ෂේත්රවල බදු බර වැඩි වෙද්දී සිගරට් මත පැවති සැබෑ බදු ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. 2021 සහ 2026 වසරවල් අතර කාලය තුළ මෙරට වෙළඳපොළේ පවතින ලාභදායී දුම්වැටි සන්නාමයක් වන “කැප්ස්ටන්” (Capstan) සිගරට් පැකට්ටුවක අඩංගු බදු ප්‍රතිශතය සියයට 8.8කින් (-8.8 ppt) පහත වැටී ඇති අතර, රටේ වැඩිම අලෙවියක් සහිත ප්‍රමුඛතම සිගරට් සන්නාමය වන “ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ්” (John Player Gold Leaf) සඳහා පැවති බදු ප්‍රතිශතය සියයට 5.6කින් (-5.6 ppt) පහත වැටී ඇත. ඉන්ධන මිලේ සිට කෑම පිඟාන දක්වා සෑම දේකම බදු ප්‍රතිශතය ඉහළ නැංවූ රජය, මීට පෙර කැසිනෝ ව්‍යාපාර සඳහා ලබාදුන් ආකාරයේම රහසිගත සහ ත්‍යාගශීලී බදු සහනයක් දුම්වැටි සඳහා ද ලබාදී ඇති බව මේ වන විට මනාව ඔප්පු වේ.
වඩාත්ම බරපතළ කරුණ වන්නේ, දුම්කොළ සමාගම් විසින් සිය ලාභාංශ අරමුණු කරගනිමින් සිදුකරන ලද මිල ඉහළ දැමීම්, රජය විසින් පනවන ලද බදු ඉහළ දැමීම් ලෙස සලකා පාර්ලිමේන්තුව තුළ පවා ව්‍යාකූල සාකච්ඡාවන් පැවැත්වීමයි. ශ්‍රී ලංකාව 2018 වසරේදී සියලුම සිගරට් සන්නාමයන්හි සාමාන්‍ය බදු ප්‍රතිශතය සියයට 74ක් (74%) ලෙස පවත්වාගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කළ සියයට 75ක (75%) ජාත්‍යන්තර ප්‍රමිතියට ඉතාමත් ආසන්නව සිටියද, 2026 වත්මන් වර්ෂය වන විට එය සියයට 66.8 (66.8%) දක්වා දරුණු ලෙස ඇද වැටී ඇත. සාමාන්‍ය ජනතාව අධික බදු බරින් මිරිකෙද්දී, දුම්කොළ සමාගම්වලට මෙලෙස රහසිගතව උපකාර වන අයුරින් බදු ප්‍රතිශතයන් පහත වැටීමට ඉඩහැරීම පිළිබඳව මේ වන විට දැඩි සමාජයීය හා දේශපාලනික විවේචන එල්ල වෙමින් පවතී.
















