සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය රුවන් රණසිංහ මහතාට 2026 ජූනි 04 වන දින දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්වූ 41 වන සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේ (SITF) දී කීර්තිමත් ‘2026 SITF Eminent Tourism Pioneer Award’ සම්මානය හිමි විය. ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය දායකත්වය සහ කාර්මික සම්බන්ධතාවය පිළිබඳව SITF සංචාරක සම්මාන කමිටුව විසින් වාර්ෂිකව සිදුකරන දැඩි ඇගයීම් සහ පර්යේෂණ ක්‍රියාවලියකින් අනතුරුව මෙම ගෞරවනීය සම්මානය සඳහා රණසිංහ මහතා තෝරාගෙන ඇත.
සෑම වසරකම කොරියාවේ දේශීය නායකයින් තිදෙනෙකු සහ ජාත්‍යන්තර පෞරුෂයන් තිදෙනෙකු පමණක් මෙම සම්මානය සඳහා තෝරා ගනු ලබන අතර, SITF ඉතිහාසයේ වසර 41 තුළ මෙම ඉහළ පෙළේ කණ්ඩායම අතරට තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ මහාචාර්ය රුවන් රණසිංහ මහතාය. මෙය ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ වඩාත් ප්‍රමුඛ ස්ථානයකට ඔසවා තැබූ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මහාචාර්ය රුවන් රණසිංහ මහතා මෙම සම්මානය ලැබීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කරමින් සඳහන් කළේ, මෙය තමා ලැබූ පුද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ලෝක පිළිගැනීමට ලක්වීමේ සාක්ෂියක් බවයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නවීකරණය කිරීමටත්, රටේ විවිධත්වය සහ අත්දැකීම් ලෝකයට බෙදා ගැනීමටත් ඉදිරියේදීත් කැපවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සම්මානය මගින් ශ්‍රී ලංකාව තිරසාර සංචාරක වර්ධනය සහ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය අතින් ගෝලීය වශයෙන් වැදගත් දායකත්වයක් ලබා දෙන රටක් බව තහවුරු කරයි. ලෝක සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රායෝගික සහ ශාස්ත්‍රීය යන අංශ දෙකෙහිම නායකත්වය දැරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මෙම ජයග්‍රහණයෙන් මනාව විදහා දක්වයි.
















