ඩුබායි රාජ්‍යයේ සිටින බව පවසා පුද්ගලයෙකු විසින් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතාට දුරකථන මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ලබාදෙන ලෙස බල කරමින් මරණ තර්ජනයක් එල්ල කර තිබේ.
පසුගිය 07 වැනි දින මෙම තර්ජනය සිදු වී ඇති අතර, තමන් ‘සහන්’ නමැති අයෙකු බව පවසා ඇති එම පුද්ගලයා, තමාගේ ගෝලයන් පිරිසක් බන්ධනාගාරගතව සිටින බවත් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙම මුදල ලබා දිය යුතු බවත් පවසා ඇත. එම මුදල ලබා නොදෙන්නේ නම් සභාපතිවරයාගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කරන බවත්, ඒ සඳහා දැනටමත් නිවස අසලට සන්නද්ධ කණ්ඩායමක් යොදවා ඇති බවත් ඔහු තර්ජනය කර තිබේ.
ඉන් සුළු මොහොතකට පසුව, මතුගම ප්‍රදේශයේ තවත් අපරාධකරුවෙකුගේ නමක් සඳහන් කරමින් අදාළ කප්පම් මුදල මතුගම නගරයට රැගෙන එන ලෙසත්, එසේ නොමැති වුවහොත් ප්‍රාදේශීය සභාව තුළදීම සභාපතිවරයාව වෙඩි තබා ඝාතනය කරන බවටත් ඔහු තර්ජනය කර ඇත. මේ සම්බන්ධයෙන් සභාපතිවරයා මතුගම නගරයට ගිය අවස්ථාවේදී, අදාළ මුදල බැංකු ගිණුමකට බැර කරන ලෙස කප්පම්කරුවන් නැවත දැනුම් දී තිබේ. කෙසේ වෙතත්, සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් තමා හමුවට පැමිණ මුදල් ලබා ගන්නා ලෙසත්, තමන් එම අපරාධකරු ගැන හොඳින් දන්නා බවත් පවසා ඇත.
තම ඉල්ලීම ඉටු නොවීම හේතුවෙන් කප්පම්කරුවන් නැවතත් සභාපතිවරයා වෙත තර්ජනය කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් සභාපතිවරයා මතුගම පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපති කසුන් මුණසිංහ මහතා ප්‍රකාශ කළේ, තමා කිසිදු පාතාල කල්ලියක් හෝ සාමාජිකයෙකු සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. තමන්ට කිහිප අවස්ථාවකදීම මෙලෙස තර්ජනය කර කප්පම් ඉල්ලා සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් ඔහු පොලිසියෙන් ඉල්ලා සිටී.
මතුගම පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
















