අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේට එහිදී අමානුෂික ලෙස වදහිංසා පමුණුවන බවට එල්ල වන චෝදනාවලට විරෝධය පළ කරමින් අද (08) CID මූලස්ථානය ඉදිරිපිටදී මුළු රටම කම්පනයට පත් කළ සංවේදී මෙන්ම කෝපාවිෂ්ට විරෝධතාවයක් පවත්වා තිබේ.
මහපාරේ රස්නය නොතකා, තමන්ගේ දෑත් පිටුපසට කර, බල්ලෙකු මෙන් බිම දණ ගසාගෙන පත්තර කොළයක බෙදූ බත් සහ රාබු මුවින් පමණක් ආහාරයට ගනිමින් එක් පුද්ගලයෙකු සිදුකළ මෙම සුවිශේෂී විරෝධතා දර්ශනය මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර යමින් පවතී. රට වෙනුවෙන් අතිවිශාල සේවයක් කළ ඉහළ බුද්ධි අංශ නිලධාරියෙකු වන සුරේෂ් සලේ මහතාට CID අත්අඩංගුවේදී කන්න දී තිබුණේ පත්තර කොළයක දැමූ රාබු සහ බත් පමණක් බවට විරෝධතාකරුවන් මෙහිදී බරපතල චෝදනාවක් එල්ල කර සිටියහ.
විරෝධතාවයට එක්වූවන් හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු බලධාරීන්ගෙන් ඉතා දැඩිව සහ හැඟීම්බරව ප්‍රශ්න කර සිටියේ, රණවිරුවෙකුට මෙන්ම ඉහළ නිලධාරියෙකුට මෙලෙස පත්තර කොළයක රාබුයි බතුයි දාලා කන්න දුන්නේ කුමන නීතියක් යටතේද යන්නයි. “බල්ලෙක් වගේ මෙහෙමද කන්න ඕන? පත්තර කොළයක රාබුයි බතුයි දාලා කන්න පුළුවන්ද? ලැජ්ජ නැද්ද ශානි… උත්තර දෙන්න මේවට! කෝ මේ රටේ මානව හිමිකම්?” යනුවෙන් පවසමින් විරෝධතාකරුවන් සිය කෝපය වචනවලින් පිට කර සිටියහ.
පොලීසිය සහ ආරක්ෂක බලධාරීන් ඉදිරිපිටදීම සිදු වූ මෙම සිදුවීම හරහා මෙරට රැඳවුම් භාරයන් තුළ පවතින වධකාගාර සංස්කෘතිය වහාම නතර විය යුතු බව විරෝධතාකරුවන් තරයේ කියා සිටිති. සුරේෂ් සලේ වැනි රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවූ නිලධාරියෙකුට සැකකරුවන්ට ලබාදිය යුතු නියමිත ආහාර වේල වෙනුවට මෙලෙස අමානුෂිකව සැලකීමට කාට හෝ අයිතියක් තිබේදැයි ප්‍රශ්න කරන ඔවුන්, බලධාරීන් මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙහි සත්‍යතාව රටට හෙළි කළ යුතු බව ද අවධාරණය කරති.
















