පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දැනට සිදු කෙරෙන විමර්ශන කටයුතුවලට අගතිදායක වන අයුරින් සහ එම කටයුතුවලට බාධා කරමින් උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් සැලසුම් සහගත වක්‍ර ක්‍රියාවලියක නිරත වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව විශේෂ මෝසමක් මඟින් අධිකරණයට දැනුම් දෙමින් CID නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා වෙත මේ බව දන්වා සිටියේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, සැකකාර සුරේෂ් සලේ මහතා තමන්ට එරෙහිව සිදුවන විමර්ශනවලට අගතිදායක වන අයුරින් හැසිරෙමින් සිටින බවයි. එමෙන්ම, ඔහුගේ මෙම අගතිදායක ක්‍රියාකාරකම් සඳහා උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයින්ගේ සහයෝගය වක්‍රාකාරව ලැබෙමින් පවතින බව ද උසාවියේදී අනාවරණය කෙරුණි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස පවතින, මෙතෙක් හෙළිදරව් නොවූ දේශපාලන පසුබිම සහ කුමන්ත්‍රණය සමාජයට හෙළි වීම වැළැක්වීමේ මූලික අරමුණින් මෙම පිරිස විසින් මෙම සැලසුම් සහගත ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන බවට සාධාරණ සැකයක් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ අවධාරණය කළේය.
















