රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ජනතා පරමාධිපත්‍යයත් නැති කරමින් තනි පක්ෂයක් ලෙස ඉදිරියට යාමට උත්සාහ කරන වත්මන් පාලනයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව සටන් වදින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය. ආණ්ඩුව ගෙදර යවන ගමනේදී නෑදෑකම් නොබලා සියලු දෙනා එකතු කරගන්නා බව ද ඇය සඳහන් කළාය.
ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි මාලාවක් සංවිධානය කිරීමේ අරමුණින්, පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් මහනුවර අම්පිටිය ඩෙවෝන් හෝටලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරිය,
“ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 159ක් හිමිව තිබියදී, ආණ්ඩුවට අවුරුද්දක් යන්නටත් මත්තෙන් ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙළගැසෙන්න අපට පුළුවන් වෙලා තියෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සභාවලින් 178ක පමණක් මාලිමාවට බලය පිහිටුවන්න පුළුවන් වෙද්දී, ඉතිරි පළාත් පාලන ආයතන බහුතරයක බලය සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා ඒකාබද්ධව පිහිටුවීමට සමත් වුණා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම කටයුත්ත සාර්ථකව ඉදිරියට යනවා.” යැයි පැවසුවාය.
මෙම සන්ධානගත වීම් හරහා වෙනත් න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඇය, විපක්ෂය තීරණ ගන්නේ කිසිදු බාහිර පාර්ශ්වයකට අවශ්‍ය පරිදි නොවන බවත්, වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලනය ගෙදර යැවීම පමණක්ම විපක්ෂයේ ඒකායන අරමුණ බවත් අවධාරණය කළාය.
















