දිගුකාලීන පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුම් සෙවීමේ පියවරක් ලෙස හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අලි කොරිඩෝ හෙවත් අලිමංකඩ 3ක් විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැටහිරකන්ද, කොහොලංකල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල යන අලිමංකඩ මෙලෙස විවෘත වන බවයි.
පැවැති රජයන් විසින් ගන්නා ලද වැරදි තීන්දු සහ අලි සංචරණය වන කලාපවල ජනතාව පදිංචි කිරීම මෙම ගැටලුව උග්‍ර වීමට හේතු වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ නීති රීති පසුගිය ජනවාරි මාසයේදී ගැසට් කර ඊට අදාළ මෙහෙයුම් කමිටු ද පත් කළ බව පැවසීය. එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය පියවීම සඳහා වනසත්ව අඩවි ආරක්ෂකයන් 141ක්, නියාමකයන් 381ක්, අලි වැට සහායකයන් 3,500ක් බඳවා ගෙන ඇති අතර සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් ද ඇතුළුව 5,000ක පිරිසක් වනජීවී කටයුතු වෙනුවෙන් අනුයුක්ත කර තිබේ. පින්නවල අලි අනාථාගාරය ඉදිරියේදී අලි ඇතුන් පිළිබඳ පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ද ඇමැතිවරයා මෙහිදී අනාවරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කළේ මෙරට භූමියෙන් 40%ක පමණ ප්‍රමාණයක අලින් සහ මිනිසුන් එකට ජීවත් වන බවයි. අලිමංකඩ අවහිර වීම ගැටුමට ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ඉදිරියේදී තවත් අලිමංකඩ නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත්, ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමින් විශේෂ කමිටු පිහිටුවා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















