පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක සහ අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී දීපාල් බදුවත්ත යන අය හෙට (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කර තිබේ.
මාවනැල්ල, ගණේතැන්න ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි උසස් පෙළ සිසුවියක විසින් මාවනැල්ල ළමා හා කාන්තා කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පෙරේදා (07) සවස අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලීසිය සඳහන් කළේ සැකකරු හෙම්මාතගම – මාවනැල්ල මාර්ගයේ දෙවනගල ප්‍රදේශයේ සිංහල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවයි. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියගේ අධ්‍යාපන කටයුතුවල පවතින දෝෂ ඉවත් කර දීම සඳහා ශාන්තිකර්මයක් කර දෙන බව පවසා සැකකරු විසින් ඇයව ගෙන්වා ගෙන ඇත. ඒ අනුව මීට දින කිහිපයකට පෙර සිසුවිය සිය මව සමඟ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි දේවාලයට ගොස් තිබේ.
එහිදී මව දේවාලයෙන් පිටත නවතා, රෙදි කඩකින් වසා තිබූ දේවාල කාමරය තුළට සිසුවියව තනිවම කැඳවාගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අරණායක, තල්ගස්පිටිය ප්‍රදේශයේ පදිංචි අසංග දීපාල් බදුවත්ත නමැති මෙම සැකකරු සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
















