වසර තුනකට වැඩි සිරදඬුවමක් නියම වන ඕනෑම පුද්ගලයෙකු, රටේ ජනාධිපතිවරයා වුවද බන්ධනාගාරය විසින් නියම කරන ලද නිල ඇඳුම ඇඳිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම සහ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, බන්ධනාගාර ආඥා පනතට සහ දෙපාර්තමේන්තු නීති රීතිවලට අනුකූලව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි. වසර තුනකට අඩු කාලයක සිරදඬුවම් ලැබූ පූජ්‍ය පක්ෂයට අධිකරණයට ඉදිරිපත් වීමේදී සිවුර දැරීමට බන්ධනාගාර අධිකාරීවරයාගේ අවසරය ලැබුණද, වසර තුනකට වැඩි කාලයක සිරදඬුවම් ලබන පූජ්‍ය පක්ෂයට බන්ධනාගාර නිල ඇඳුම ඇඳීම අනිවාර්ය වන බව ඔහු පෙන්වා දුන්නේය. කිසිදු ඉහළ පෙළේ විශේෂ නියෝගයකින් තොරව නීත්‍යානුකූල පටිපාටියට පමණක් අනුව කටයුතු කළ බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා, දැනට විවිධ ආගම් නියෝජනය කරන පූජ්‍ය පක්ෂයේ සාමාජිකයින් 63 දෙනෙකු පමණ එම නීති යටතේ බන්ධනාගාරගතව සිටින බවද වැඩිදුරටත් කියා සිටියේය.
















