බහරේනයේ පැවති සුවිශේෂී ‘අඹ උත්සව’ (Bahrain’s vibrant Mango festivals) මාලාවේදී ශ්‍රී ලංකාවේ අඹ සඳහා ඉහළ පිළිගැනීමක් සහ දැඩි අවධානයක් හිමිව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පසුගිය මැයි හා ජුනි මාසවල බහරේනයේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසල් ජාල වන ‘ලුලු හයිපර්මාර්කට්’ (Lulu Hypermarket) සහ ‘අල් ජසීරා’ (Al Jazira) විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශන කිහිපයකදීම ශ්‍රී ලාංකේය අඹ වර්ග මෙසේ ප්‍රමුඛව ප්‍රදර්ශනය කර තිබේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන් මාලාව ආරම්භ කරමින් ලුලු හයිපර්මාර්කට් ආයතනය මඟින් ‘Mango Mania’ නමින් අඹ උලෙළක් පවත්වන ලදී. අනතුරුව පසුගිය 4 වැනි දින අල් ජසීරා සුපිරි වෙළෙඳසලේදී ‘The Great Mango Football Fiesta’ උලෙළ පැවැත්වුණු අතර, එහිදී ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල අඹ වර්ග සමඟ ශ්‍රී ලංකාවේ අඹ ද කරට කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබිණි.
එම ප්‍රදර්ශන පරිශ්‍රයේ ක්‍රියාත්මක වූ සුවිශේෂී ප්‍රවර්ධන කටයුතු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙසේ සඳහන් කළහ.
“අල් ජසීරා උලෙළේ විශේෂ අංගයක් ලෙස ශ්‍රී ලාංකේය අඹ උපයෝගී කරගනිමින් පිළියෙල කරන ලද ආහාර පාන පිළිබඳ සජීවී සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වා තිබෙනවා. මීට අමතරව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩයක් වන ලංකා තේ (Ceylon Tea) ප්‍රවර්ධනය කිරීම සඳහා ද එහි විශේෂ කුටි වෙන්කර තිබීම සුවිශේෂී පියවරක්. බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා.”
ශ්‍රී ලංකාවේ නැවුම් අඹ සහ අනෙකුත් පලතුරු වර්ග බහරේන් වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා එරට ප්‍රධාන සිල්ලර වෙළෙන්දන් දිරිමත් කිරීම මෙම ප්‍රදර්ශනවල මූලික අරමුණ වී ඇත. මෙම සාර්ථක මැදිහත් වීම හරහා ඉදිරියේදී මැදපෙරදිග වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
















