රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා රඳවා සිටින ස්ථානයේ ඔහුට සිදුවන සැලකීම් සහ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සිද්ධියට අදාළව කරුණු පැහැදිලි කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ට මෙම සතිය තුළ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. සුරේෂ් සලේ මහතාගේ ඥාතීන් විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා සිටින සුරේෂ් සලේ මහතාට අමානුෂික ලෙස සැලකීම සහ වධහිංසා පමුණුවන බවට ඔහුගේ පාර්ශවයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වන පසුබිමක, මානව හිමිකම් කොමිෂන් සභාවේ මෙම මැදිහත්වීම ඉතා වැදගත් වේ. පොලිසිය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණද, සලේ මහතාගේ බිරිඳ සහ නීතිඥවරුන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව බරපතළ කනස්සල්ලක් පළ කර තිබුණි.
මෙම විමර්ශනය හරහා සුරේෂ් සලේ මහතා රඳවා සිටින කුටිය තුළ සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදි තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















