මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය.
එම පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ඒ අනුව, කථානායකවරයා දැනුම් දුන්නේ 14 වන වගන්තිය යටතේ එන යෝජිත 12A සහ 12B වගන්ති මෙන්ම 18 වන වගන්තිය යටතේ එන යෝජිත 17A, 17B සහ 17C යන වගන්ති සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය වන බවයි.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් පෙන්වා දී ඇත්තේ, අදාළ වගන්ති අධිකරණය විසින් යෝජනා කර ඇති ආකාරයට සංශෝධනය කරන්නේ නම්, ඒවා සරල බහුතරයකින් වුවද සම්මත කරගත හැකි බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරිණි. මේ පිළිබඳව තීරණය කථානායකවරයා විසින් නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, පනත් කෙටුම්පතේ සෙසු වගන්ති සරල බහුතරයකින් සම්මත කරගත හැකි බව අධිකරණය ප්‍රකාශ කර ඇත.
















