පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන පුස්තකාලයේ නව ගොඩනැගිල්ලේ කොටසක් පරිපාලන කටයුතු සදහා අත්පත් කර ගැනීමේ තීරණය හේතුවෙන් එහි 4 වන මහලේ ස්ථාපිත කර තිබූ නීති පොත් එකතුව මේ වන විට එම ස්ථානයෙන් ඉවත්කර ඇති අතර එම පොත් නිසි ස්ථානයක ස්ථාපිත කිරීම සදහා ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් මේ වන විට අවිධිමත් ලෙස සහ අනාරක්‍ෂිත ලෙස තැන් තැන් වල ගොඩ ගසා තිබෙන අයුරු දැකගන්නට ලැබේ.
විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන කටයුතු වලදී සොයා ගැනීමේ පහසුව සදහා මෙම පොත් එකතුව ක‍්‍රමාණුකූලව සහ පුස්තකාල විද්‍යාවට අනුකූලව ක‍්‍රමවත් ලෙසට රාක්ක වල තැන්පත් කර තැබිය යුතු වුවද එම අංශය සදහා වෙන්කර තිබුන ඉඩකඩ පරිපාලනය විසින් අත්තනෝමතිකව අත්පත් කර ගැනීම හේතුවෙන් මෙම අගනා පොත් එකතුව සීතල කොන්ක‍්‍රීට් පොලව මත අවිධිමත් ලෙසට පත්තර කොල මත අතුරා තැබීමට සිදුව ඇත.
මෙම අවිධිමත් අතුරා තැබීම හේතුවෙන් විද්‍යාර්ථීන්ට නියමිත පොත් සොයාගැනීම පහසු නොවන අතර පොලව මත ඇති තෙතමනය සහ කෘමීන් හේතුවෙන් හානියට පත්වීමේ අවදානමකටද ලක්වේ.
ජාතික වශයෙන් වටිනා පුස්තකාලයක් අභ්‍යන්තරයේ දේශනශාලා සහ පරිපාලන සංකීර්ණ පවත්වාගෙන යාමේ තීරණය විශ්වවිද්‍යාල ප‍්‍රජාව අතර බරපතල ලෙසට විවේචනයට ලක්ව තිබෙන අතර මේ පිලිබදව සාකච්ඡුා කිරීම සදහා අවස්ථාවක් ලබාදෙන මෙන් වෘත්තීය සමිති විසින් පසුගිය මාර්තු මාසයේ සිදු කරන ලද ලිඛිත ඉල්ලීමටද මෙතෙක් සාධණීය ප‍්‍රතිචාරයක් ලැබී නැති බව දැනගන්නට ඇත.
















