දකුණු පිලිපීනයේ ජෙනරල් සැන්ටෝස් නගරයට බලපෑ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, සිය ගණනක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනයෙන් දරුණු ලෙස හානියට පත් ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටින බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට දැඩි මෙහෙයුමක නිරත වෙමින් සිටිති. ප්‍රාදේශීය ගිනි නිවීමේ නිලධාරී එඩ්ගාර් ටනාවන් සඳහන් කළේ, එම වෙළඳ සංකීර්ණයේ සුන්බුන් අතරින් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජීවතුන් අතර මුදාගෙන ඇති අතර තවත් අයෙකු මියගොස් සිටියදී සොයා ගත් බවයි. කෙසේ වෙතත්, ඉතිරි දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ජීව ලක්ෂණයක් වාර්තා වී නොමැති බව ඔහු තවදුරටත් පැවසීය.
ප්‍රබල භූ කම්පනයෙන් පසු අද (09) වන විට පසු කම්පන 20කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර කටයුතු ද දැඩි අපහසුතාවයට ලක්ව තිබේ. බලධාරීන් විසින් පවතින හානිය තක්සේරු කරමින් පවතින අතර, ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශයේ පාසල් වසා දැමීමට ද පියවර ගෙන ඇත.
















