ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (ඩොලර් ලක්ෂ 25ක්) විශාල මුදලක් අතුරුදහන් වීම හෝ අවභාවිත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් වගකීමෙන් බැහැරව “බෝලේ පාස් කරන” (Passing the ball) පිළිවෙතක් අනුගමනය කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය. රටේ ඉහළම මූල්‍ය ආයතන ද්විත්වය මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම සමස්ත රාජ්‍ය මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටීමට හේතුවන බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ මුදල් ප්‍රතිපත්තිය (Monetary Policy) ක්‍රියාත්මක කරන මහ බැංකුව සහ මූල්‍ය නොහොත් රාජ්‍ය බදු හා වැය (Fiscal Policy) ප්‍රතිපත්තිය මෙහෙයවන භාණ්ඩාගාරය අතර පවතින මෙම බරපතල ගැටුම සහ මතභේදාත්මක තත්ත්වය රටේ ඉදිරි ආර්ථික ඉදිරිගමනට දැඩි හානිකර බලපෑමක් එල්ල කරන බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය. ආයතන දෙක අතර පවතින මෙම අනවශ්‍ය විරසකය හේතුවෙන් රටේ සමස්ත ආර්ථික කළමනාකරණයම අඩාල වී ඇති බව ද ඔහු සභාවේදී කියා සිටියේය.
අතුරුදහන් වී ඇති බව කියන මෙම ඩොලර් ලක්ෂ 25ක මුදලට සැබවින්ම සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව මහා භාණ්ඩාගාරය සතුව පවතින සියලුම අභ්‍යන්තර පරීක්ෂණ වාර්තා සහ ලිපිලේඛන වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභාගත කරන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් දැඩිව ඉල්ලා සිටියේය.
















