හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් සමඟ වත්මන් ආණ්ඩුවට පවතින දේශපාලන ගැටලු වෙනුවෙන් රට වෙනුවෙන් ජීවිතය පූජා කළ සහ කැපවූ රණවිරුවන් ඉත්තන් කර නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවට අවධාරණය කරයි. බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට සහය පළ කරමින් අද (09) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දෙවැනි දිනටත් පැවැති සත්‍යග්‍රහයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් පාලකයන් ඩයස්පෝරාවේ අවශ්‍යතාවන් මත කටයුතු කරමින් සිටින බවයි. 2009 මැයි 18 වැනිදා යුද්ධය අවසන් කර ලබාගත් නිදහසේ ප්‍රතිලාභ අද මුළු රටේම ජනතාව භුක්ති විඳින පසුබිමක, ඒ වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කැපවූ රණවිරුවන් සිරගත කරමින් දේශපාලන දඩයමක නිරත වීම පිළිකුල් සහගත බව ද ඔහු පැවසීය.
පාස්කු ඉරිදා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ යුක්තිය ඉටුවිය යුතු බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, එදා ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ජාතික ලැයිස්තුවට බෝම්බකරුවෙකුගේ පියෙකු වූ මොහොමඩ් ඉබ්‍රාහිම් ඇතුළත් කළේ කවුද යන්නත්, ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කවුද සහ ඔවුන්ව මෙහෙයවූයේ කවුද යන්නත් සමාජය ඉදිරියේ හෙළිවන දිනය වැඩි ඈතක නොවන බව ද ප්‍රකාශ කළේය. පටු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් සිදුකරන මෙම අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙන් අවසානයේ පීඩාවට පත්වන්නේ මේ රටේ පොදු මහජනතාව බව ද ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
















