එල් නිනෝ (El Niño) සංසිද්ධිය ලබන ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවේ කාලගුණික රටාවන් කෙරෙහි බලපෑම් කිරීමට පටන් ගන්නා බව කාලගුණ විද්‍යා අංශ පවසයි. මෙම කාලගුණික වෙනස්වීම් හේතුවෙන් මෙරට නිරිතදිග මෝසම් වැසි කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවේ.
පැසිෆික් සාගරයේ දැනටමත් එල් නිනෝ තත්ත්වයන් වර්ධනය වී ඇති බවත්, එහි බලපෑම් ඉදිරි මාස 11ක කාලසීමාවක් පුරා විවිධ මට්ටම්වලින් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ කාලගුණික රටාවට සහ කෘෂිකාර්මික හා ජල කළමනාකරණ කටයුතුවලට ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව සඳහා වාරිමාර්ග, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණය, කෘෂිකර්මාන්තය, ගොවිජන සංවර්ධනය සහ ජල සැපයුම ඇතුළු ප්‍රධාන අංශ 20ක නියෝජිතයින් සහභාගී වීමට නියමිතව ඇත.
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි වියළි කාලගුණික විපර්යාස හෝ ජල හිඟයන් කළමනාකරණය කිරීම උදෙසා අදාළ ආයතනවල ඒකාබද්ධ ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කරනු ඇත.














